උතුරට එක නීතියක් , දකුණට තව නීතියක් – යුක්තිය උදෙසා කාන්තාවෝ

මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට බදුදීමට එරෙහිව හම්බන්තොට ප්‍රදේශයේදී පසුගියදා පැවති උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගත් කාන්තාවන් ,නිසි චෝදනා ගොනුකිරීමකින් තොරව රිමාන්ඩ් භාරයේ රඳවා ඇති බවත් ඒ අනුව මේ පිළිබඳව සාධාරණව සලකා බලා , ඔවුන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය අවධාරණය කර සිටී.

අත්අඩංගුවට පත්ව සිටින කාන්තාවන් , පොදු දේපල වලට හානි කර ඇති බවට පොලිසිය චෝදනා නගන නමුත් , එම කාන්තාවන් කිසිවකු එවැනි කිසිදු කඩාකප්පල්කාරී කටයුත්තකට සහභාගී වී නොමැති බවත් ,යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය සඳහන් කරයි.


අත්අඩංගුවට පත් එම කාන්තාවන්න් අතර සිටින කිහිපදෙනෙකුම රෝගී තත්වයන්ගෙන් පෙලෙන බවත් ඔවුන්ට නිසි පරිදි ඖෂධ ලබාදීමටද බලධාරීන් කටයුතු කර නොමැති බව ද කොළඹ ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී  ඊයේ (24)  පැවති මාධ්‍ය හමුවකදී යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි ශර්මිලා ගොනවෙල මහත්මිය පැවසුවාය .

උතුරුකරයේද පසුගියදා කාන්තාවන් පිරිසක් උද්ද්ඝෝෂණයක නිරතවූ නමුත් ඔවුන්ට නීතිය ක්‍රියත්මක වුයේ වෙනස් ආකාරයකට බවත් එම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකළ බවත්   යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනිය පැවසුවාය.

දකුණට එක නීතියක් හා උතුරට තවත් නීතියක් පැවතීම පිළිගත නොහැකි බව මෙහිදී අදහස් දැක්වූ  යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ කැඳවුම්කාරිණි සාවිත්‍රි ගුණසේකර මහත්මිය පැවසුවාය .

රටේ ජාතික සම්පත් රැකගැනීම උදෙසා හඬක් නගන කාන්තාවන් අසාධාරණ ලෙස සිරගත කිරීම පිළිගත නොහැකි බවද ඇය පැවසුවාය

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.