“ඉන්දියාවට දීමට සැරසෙන” ත්‍රිකුණාමල තෙල් ටැංකිවල අලුත්ම තත්ත්වය .

Google

ආසියාවේ ඇති විශාලතම තෙල් පර්යන්තවලින් එකක් ලෙස සැලකෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවත් සමග එක්ව සංවර්ධනය කර භාවිතයට ගැනීමට කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලය පසුගිය අගෝස්තු මාසයේ අනුමැතිය පළ කළේය.

මෙය ජාතික සම්පත් විකුණා දැමීමක් ලෙස හඳුන්වන විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ඊට දක්වන්නේ, දැඩි විරෝධයකි.

2017 වසරේ මෙම යෝජනාව සාකච්ඡාවට ලක්වූ අවස්ථාවේ තෙල් වෘත්තීය සමිති වර්ජනයක නිරත වූ අතර ඒ හේතුවෙන් ඇති වූ තෙල් හිඟය නිසා මහ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්විය. වෘත්තීය සමිති විරෝධතාව අවසන් වූයේ, තෙල් ටැංකි බදු දීමේ ක්‍රියාවලියකට හෝ යොමු කිරීමට පෙර ඛණිජ තෙල් වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන බවට රජය දැක්වූ එකඟතාවකින් අනතුරුවය.

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද මෙම තෙල් ටැංකි සංකීර්ණය ටැංකි 101 කින් සමන්විත වූ අතර දැන් එයින් ඉතිරිව ඇත්තේ, 99 කි.

ඉන් 15ක් මේ වන විට ඉන්දියන් ඔයිල් සමාගම භාවිත කරන අතර ඉතිරි ටැංකි අත්හැර දමා තිබේ. මෙම ටැංකි අලුත්වැඩියා කර භාවිත කිරීමට විශාල මුදලක් වැය වන හෙයින් ඉන්දියන් ඔයිල් සමාගමත් සමග එක්ව ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස මෙය පවත්වාගෙන යාම රජයේ අරමුණ වී තිබේ.

BBC

තෙල් ටැංකි සංකීර්ණය හා සම්බන්ධ වර්තමාන තත්ත්වය පිළිබඳ කරුණු පෙළගැස්වීමකි, මේ.

1. ඉන්දීය තෙල් සමාගමත් සමග ඒකාබද්ධ ව්‍යාපාරයකට කැබිනට් අනුමැතිය

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග පසුගිය ජුලි මස 13 වන දා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම ගැන කැබිනට් පත්‍රිකාවක් යොමු කළ අතර එයට අගෝස්තු මස 7 වෙනි දින කැබිනට් අනුමතිය හිමිව තිබේ. එහිදී අමාත්‍ය මණ්ඩලය එකඟ වූ ප්‍රතිපත්ති කිහිපයක් පහත සඳහන් වේ.

  • පහළ කොටසේ ටැංකි සංකීර්ණයේ ඇති, ඉන්දීය තෙල් සමාගම විසින් දැනට භාවිත කරනු ලබන ටැංකි 15, අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන කාල සීමාවකට යටත්ව ලංකා ඉන්දීය තෙල් සමාගමට පැවරීම.
  • ත්‍රිකුණාමලය ටැංකි සංකීර්ණයේ ඇති ටැංකි 85ක් ඒකාබද්ධව සංවර්ධනය කිරීම උදෙසා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් තෙල් සමාගම අතර උප සමාගමක් පිහිටුවීම.
  • ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රමුඛත්වය දරන ඉහළ ටැංකි සංකීර්ණයේ ඇති ටැංකි 16ක් එකී උප සමාගම මගින් සංවර්ධනය කර ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ භාවිතය සඳහා භාර දීම.
  • ත්‍රිකුණාමලය ඉහළ කොටසේ ඇති ඉතිරි ටැංකි 69, අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන කාල සීමාවකට යටත්ව ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් කර්මාන්තයේ ඒකාබද්ධ ව්‍යාපාරික අයිතියක් වශයෙන් එකඟත්වය මත එකී උප සමාගම භාවිත කිරීම.
  • ත්‍රිකුණාමලයේ පහළ සහ ඉහළ තෙල් සංකීර්ණයේ ඉඩම්වල අයිතිය දැනට ඇති පරිදි ශ්‍රී ලංකා රජය වෙත තබා ගැනීම.

“දැනට ඉන්දීය තෙල් සමාගම භාවිත කරන තෙල් ටැංකි ගණන 15 ක්. ඉතිරි ටැංකි සංවර්ධනය කිරීමට ඉන්දීය තෙල් සමාගමත් අපේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවත් එක් වී පොදු ආයතනයක් පිහිටුවන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා,” මේ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී අමාත්‍ය අර්ජුණ රණතුංග බීබීසී සිංහල සේවයට පැවසීය.

“එහෙම සංවර්ධනය කරන ටැංකිවලින් 16 ක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරෙනවා. ඉතිරි ටැංකි 69, ඒකාබද්ධ ව්‍යාපාරයක් යටතේ පරිහරණය කෙරෙනවා,” යනුවෙන් ඔහු තවදුරටත් එහි ක්‍රමවේදය පැහැදිළි කළේය.

2. තෙල් ටැංකි සංකීර්ණය ලබා ගැනීමට ඉන්දියාවට ඇත්තේදේශපාලන අරමුණක්” – ජවිපෙ

ජනාධිපති ජේආර් ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987 දී අත්සන් තබන ලද ‘ඉන්දු – ලංකා ගිවිසුම’ ප්‍රකාර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.

කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ පවසන ආකාරයට ඉන්දියාව මෙම තෙල් සංකීර්ණය සඳහා උනන්දුවක් දක්වන්නේ වාණිජමය අරමුණකින් නොවේ.

IOC oil tanksImage copyrightGOOGLE
Image captionඉන්දියානු තෙල් සමාගම දැනට භාවිත කරන්නේ පහළ පිහිටි මෙම ටැංකි 14 ය.

“ඉන්දු-ලංකා ගිවිසුම අනුව ඉන්දියාවට තිබුණේ, වාණිජමය අරමුණක් නොවෙයි. දේශපාලන අරමුණක්. මෙම තෙල් ටැංකි සංකීර්ණය කොටස් දෙකකින් සමන්විතයි. පහළ සංකීර්ණයේ තෙල් ටැංකි 14ක් සහ ඉහළ සංකීර්ණයේ තෙල් ටැංකි 85ක් තිබෙනවා. ඉන් ඉන්දියාව භාවිත කරන්නේ පහළ සංකීර්ණයේ තෙල් ටැංකි 14 යි. දැන් ඉතිරි තෙල් ටැංකි 85 ඉන්දියාවට ලබා දීමටයි ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ,” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පසුගිය සතියේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

“එය ඉන්දියාවේ ඉල්ලීමක් නොවෙයි. ඉන්දියාවට අවශ්‍ය වන්නේ එම තෙල් ටැංකි වෙනත් රටකට ලබා නොදෙනවා කියන තහවුරුවයි. නමුත් වර්තමාන ආණ්ඩුවේ විකිණීමේ ප්‍රතිපත්තිය මත මෙම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දෙන්න යනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

“ශ්‍රී ලංකාවට ආරක්‍ෂිත තෙල් තොග අඩුම තරමේ මසකට හෝ තබා ගැනීමට ගබඩා අවශ්‍යයි. එවැනි ආරක්‍ෂිත තෙල් තොග තබා ගැනීමට ඉතා ම සුදුසු ත්‍රිකුණාමලය තෙල් ටැංකියි. රටට එවැනි ජාතික අවශ්‍යතාවක් තිබියදී ආණ්ඩුව එම තෙල් ටැංකි ඉන්දියාවට විකුණන්නේ ඇයි?” යනුවෙන් බිමල් රත්නායක මන්ත්‍රීවරයා රජයෙන් ප්‍රශ්න කළේ ය.

3. “අපිට මුදල් නැහැ සංවර්ධනය කරන්න” – රජය

INFORMATION DEPARTMENTImage copyrightINFORMATION DEPARTMENT

දැනට භාවිත නොකරන මෙම තෙල් ටැංකි භාවිතයට ගත හැකි ආකාරයට සංවර්ධනය කිරීම සඳහා මුදල් රජයට නොමැති නිසා ඉන්දියන් ඔයිල් සමාගම සමග එක්ව එය සංවර්ධනය කිරීම රජයේ අරමුණ වී තිබේ.

“2002 දී තමයි මේ ගිවිසුම ගහල තියෙන්නේ. මෙතරම් කල් මේ ටැංකි ටික ආරක්ෂා වෙලා තියෙනවා ඒ කාලේ මේ ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදීමෙන්, අපි මේ ටැංකි ටික පරික්ෂා කරලා බලද්දී මේ ටැංකි දැනට පාවිච්චි කරන්න පුළුවන්කමක් නැහැ, ඒ හින්ද තමයි අපි තීරණයක් ගත්තේ අපිට එකක් වත් නැති නිසා ටැංකි 16 ක් අපි අරගෙන, ඒවා උප සමාගම හරහා සංවර්ධනය කරන්න අපිට මුදල් නැති නිසා,” අමාත්‍ය අර්ජුන රණතුංග පසුගිය 12 වෙනිදා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

4. “තෙල් ටැංකි 16ක් භාවිතයට ගැනීමට යන්නේ ඩොලර් මිලියන 10යි” – ඛණිජ තෙල් වෘත්තීය සමිති

ඩොලර් මිලියන 10ක වියදමකින් තෙල් ටැංකි 16 ක් නැවත භාවිත කළ හැකි බවට වාර්තාවක් ඛණිජ තෙල් සංස්ථාවේ පළපුරුදු ඉංජිනේරුවන් පිරිසක් 2016 වසරේ රජයට ඉදිරිපත් කළ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.

ලංකා ඛණීජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී ජේ රාජකරුණා බීබීසි සිංහල සේවයට පැවසුවේ, එම යෝජනාව අනුව එවකට ඛණිජ තෙල් ඇමතිවරයා වූ චන්දිම වීරක්කොඩි 2016 අප්‍රේල් 28 වෙනි දින කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරමින් තෙල් ටැංකි 16 සංස්ථාවට ලබා දෙන ලෙසත් එම වියදම සංස්ථාවෙන් දරන බවටත් යෝජනා කළ බවය.

කියවන්න: ලෝක යුද්ධය, ‘ජපාන වීරයෝ’ සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි

ඒ සඳහා වැය වන වියදම සාමාන්‍යයෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට තෙල් බෙදා හැරීමේ වසරක වියදමට සමාන එකක් බව පැවසූ ඔහු එම යෝජනාවට කැබිනට් එකඟතාව හිමිව තිබියදී 2016 ජුනි මාසයේ අගමැති රනිල් වික්‍රමසිංහ මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදීමට යෝජනා කළ බව සඳහන් කළේය.

වෙනත් රටක් හා සම්බන්ධ නොවී, ඛණිජ තෙල් සංස්ථාවටම මෙම තෙල් ගබඩා පර්යන්තය භාවිතයට ගෙන මාස කිහිපයකට ශ්‍රී ලංකාවට අවශ්‍ය ආරක්‍ෂිත තෙල් තොග මෙන්ම ජාත්‍යන්තර නැව්වලට අවශ්‍ය ඉන්ධන ද ලබා දිය හැකි බව ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී ජේ රාජකරුණා පවසයි.

5. අධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සම්, වර්ජනයක් ගැන යළිත් අනතුරු ඇඟවීම්

2003 වසරේ ත්‍රිකුණාමල තෙල් ටැංකි ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට පවරා දුන් ලියවිල්ල නීත්‍යනුකූල නොවන බවට ප්‍රකාශ කර යළි එම තෙල් ටැංකි ඛණිජ තෙල් සංස්ථාවට පවරා දෙන ලෙස ඉල්ලමින් ඛණිජ තෙල් වෘත්තීය සමිති 4 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිය සතියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති අතර ඔහු ඒ මගින් ඉල්ලා ඇත්තේ, සම්පූර්ණ තෙල් ටැංකි පද්ධතියම ඉන්දියාවට පැවරීමට ආණ්ඩුවේ ඇති සූදානමට විරුද්ධව මේ වන විටත් අධිකරණයේ පවතින නඩු විභාගය නොතකා ත්‍රිකුණාමල තෙල් ටැංකි පද්ධතියම ඉන්දියාවට පැවරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව අත්හිටුවන ලෙසය.

ආණ්ඩුව මේ යෝජනාව ඉදිරියට ගෙන ගියහොත් වර්ජනයක් දක්වා ගොස් හෝ එය වළක්වන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති පවසති.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.