‘ඉඩදෙන යාදෙන නැගෙන ව්‍යාපාර’ වෙබ් සම්මන්ත්‍රණය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාවේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රමාණය මිලියනයකට අධික ය. ඉන් මිලියන 2.25ක ජනතාවකට රැකියා අවස්ථා උත්පාදනය කර දී ඇත. එවන් පසුබිමක  කොවිඩ්-19 වසංගත තත්ත්වය කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා අඛණ්ඩ බලපෑමක් එල්ල කර තිබේ. එසේ පැන නැඟුණු අභියෝග රැසකට හැඩගැසීමට හා මුහුණ දීමටත් ඒ තුළ වඩාත් ශක්තිමත්ව නැඟී සිටීමටත් එම ව්‍යාපාරවලට මනා පන්නරයක් හිමිව තිබේ.

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩලය, ක්‍රිසලීස් ආයතනය හා එක්ව පසුගියදා විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය. ‘ඉඩදෙන යාදෙන නැගෙන ව්‍යාපාර’ ලෙස නම් කර තිබූ මෙම වෙබ් සම්මන්ත්‍රණයට මධ්‍යම හා ඌව පළාත් නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි ව්‍යවසායකයෝ 4 දෙනෙක් එක්ව සිටියහ. කොවිඩ් කාලසීමාව තුළ තමන් මුහුණදුන් අභියෝග නව අවස්ථාවන් බවට පෙරළා ගැනීමට තමන් ක්‍රියාකළ ආකාරය පිළිබඳ ඔවුහු මෙහිදී කරුණු දැක්වූහ.

SGM Food Products ආයතනයේ හිමිකරු සරවනගුරු සිවදර්ශන්, Araliya Fashion Wear හිමිකාරිනී අරලියා සමරසේකර, Unigro Agency හිමිකාරිනී ඌෂා නන්දිනී සෙන්දිල් කුමාර් සහ Surangani Voluntary Services (SVS) ආයතනයේ දේශීය නියෝජිත නලින් විපුලේන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙසේ වෙබ් සම්මන්ත්‍රණයට සිය දායකත්වය ලබාදුන්හ. ක්‍රිසලීස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක හෂිත අබේවර්ධන මහතා වෙබ් සම්මන්ත්‍රණය මෙහෙයවීය.

“ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළුව, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය වීම අපගේ ඉහළ ම ප්‍රමුඛතාවක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත සහායක් ලබාදෙන කුඩා ව්‍යාපාර අංශය පිළිබඳ දැනුවත්භාවය වැඩිකිරීමත්, දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමත් මෙම වැඩසටහන හරහා අපි බලාපොරොත්තු වුණා. කොවිඩ් හේතුවෙන් දේශීය ආර්ථිකයට එල්ල වූ බලපෑම අති දැවැන්තයි. නමුත් ඒ හරහා කුඩා ව්‍යාපාර අංශයේ නිර්මාණශීලීත්වයත්, ශක්තිමත් භාවයත් පෙන්නුම් කෙරුණා. ඒ වගේම වැදගත් පාඩම් රැසක් අපට ඒ හරහා උගෙනීමට පුළුවන්. කොවිඩ් හරහා ව්‍යාපාරකරණයේ නියුතු කාන්තාවන් මුහුණ දෙන ගැටලුත් වර්ධනය වෙලා. මෙම වෙබ් සම්මන්ත්‍රණය හරහා විශේෂයෙන් ම කාන්තා ව්‍යවසායිකාවන්ට නව අවස්ථා උදා කරදීමත්, ඔවුන් දිරිමත් කිරීමත් බලාපොරොත්තු වුණා” යනුවෙන් වෙබ් සම්මන්ත්‍රණය සංවිධානය කිරීමේ අරමුණු පැහැදිලි කරමින් යුරෝපා සංගම් දූත මණ්ඩලයේ සහයෝගීතා අංශයේ නියෝජ්‍ය ප්‍රධානී සහ වැඩසටහන් කළමනාකරු ෆැබ්රිසියෝ සෙනසි මහතා පැවසීය.

අරලියා සමරසේකර මහත්මිය යුරෝපා සංගමයේ ආධාර ඇතිව ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිලාභිනියකි.

“කොවිඩ් උදාවීමත් සමඟ මම මුහුණ දුන් මුල් ම අභියෝගය වුණේ මගේ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම යි. ඔවුන් අතුරින් බහුතරයක් කාන්තාවන්. එම අභියෝගය සාර්ථකව ජයගැනීමෙන් අනතුරුව මුඛ ආවරණ සඳහා මතුවෙමින් පවතින ඉල්ලුම මම හඳුනාගත්තා. එහිදී පළමුවෙන්ම කොවිඩ්-19ට එරෙහිව සටන් වදින සෞඛ්‍ය හා හමුදා සාමාජිකයින් වෙනුවෙන් මුඛ ආවරණ සඳහා දැඩි අවශ්‍යතාවක් පවතින බවත් තේරුම් ගියා. මම මුලින්ම සෞඛ්‍ය අංශවල අවසරය යටතේ මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමටත්, ඉන්පසුව නොමිලයේ  බෙදාහැරීමටත් පටන් ගත්තා. අනතුරුව වාණිජ මට්ටමෙන් මුඛ ආවරණ නිෂ්පාදනය කරමින් සාධාරණ මිලක් යටතේ මගේ ම වෙළෙඳ නාමයෙන් හඳුන්වා දීමටත් හැකියාව ලැබුණා. එහිදී මට ලැබුණු ප්‍රතිචාර බෙහෙවින් දිරිගන්වන සුලුයි” සමරසේකර මහත්මිය පැවසුවාය.

කුඩා ව්‍යාපාර හිමියන්ට උපදෙස් වශයෙන් ඇය මෙසේ ද පැවසුවාය. “කාන්තා ව්‍යවසායිකාවක් හැටියට ඕනෑම මොහොතක අභියෝග පැන නැඟිය හැකියි. කාන්තා ව්‍යවසායිකාවක් හැටියට අපි ඒවාට සූදානම්ව සිටිය යුතුයි. කාන්තාවන් ලෙස ඒවාට මුහුණ දී ජයගැන්මේ ශක්තිය අප සතුයි”.

මේ අතර කොවිඩ් අභියෝග හමුවේ සිය කුළුබඩු නිෂ්පාදන ව්‍යාපාරය පවත්වාගෙන ගිය ආකාරය පිළිබඳ සරවනගුරු සිවදර්ශන් මහතා විස්තර කළේය. “කොවිඩ් අර්බුද කාලසීමාවේදී අපට මූල්‍ය හිඟයක් මතුවුණා. එම කාලයේදී අමුද්‍රව්‍ය ලබාගන්න සිදුවුණේ 100%ක් ම අත්පිට මුදලට යි. බැංකු හරහා ගනුදෙනු කරන්න හැකියාවක් තිබුණේ නැහැ. කොහොම නමුත් මගේ කණ්ඩායමත් සමඟ මම ව්‍යාපාර සැලසුම ඉදිරියට ගෙන ගියා. මගේ නිෂ්පාදන එනතුරු පෙර මඟ බලා සිටින ශක්තිමත් පාරිභෝගික ජාලයක් මා සතුයි. එය මගේ ව්‍යාපාරයට විශාල ශක්තියක් වුණා. ඒ වගේම කොවිඩ් කාලසීමාවේදී ව්‍යාපාරය අන්තර්ජාලයට එකතු කිරීමටත්, ඒ තුළින් නව පාරිභෝගිකයන් සොයාගැනීමටත් හැකිවුණා” සිවදර්ශන් මහතා පැහැදිලි කළේය.

“අවස්ථාවන් ඉබේටම නිර්මාණය වන්නේ නැහැ. අර්බුද අවස්ථාවකදී පවා අප විසින් ම අවස්ථාවන් නිර්මාණය කරගත යුතුයි” ඔහු තරුණ පරපුරට උපදෙසක් ලෙස පැවසීය.

පීවීසී ජලනල උපාංග ව්‍යාපාරයක හිමිකාරිනියක වන ඌෂා නන්දිනි මහත්මිය ද මෙහිදී කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ තමන් මුහුණ දුන් අභියෝග සහ ඒවා ජයගත් ආකාරය පෙන්වා දුන්නාය. “ව්‍යාපාර සාර්ථකත්වයට අත්‍යවශ්‍ය ම අංග වන්නේ හොඳ ව්‍යාපාරික අදහසක් පැවතීම සහ උද්‍යෝගීමත් භාවයයි” ඇය පැවසුවාය.

“මම කල්තබා පීවීසී නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගබඩා කර තබාගත්තා. එම නිසා සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරමින් අඛණ්ඩව නිෂ්පාදන කටයුතු පවත්වා ගැනීමට මට හැකිවුණා. බොහෝ දෙනෙක් කොවිඩ්-19 අර්බුදයක් ලෙස දැක්කත්, එම කාලසීමාව මට අලුතින් සිතන්නටත්, ඉදිරිය සැලසුම් කරන්නත් හොඳ අවකාශයක් උදා කරදුන්නා. වට්ස්ඇප් හරහා මගේ පාරිභෝගික ජාලය ප්‍රතිසංවිධානය කර ගැනීමටත්, බස් රථ හරහා මගේ බෙදාහැරීම් ජාලය යළි පණගැන්වීමටත් හැකිවුණා. විශේෂයෙන් ම නිරෝධායන ඇඳිරි නීති කාලසීමාවේදී ගෙවතු වගා කටයුතු සඳහා බොහෝ දෙනෙකු යොමුවීමත් සමඟ ජල සම්පාදන කටයුතු අවශ්‍ය ජලනල උපාංග නිෂ්පාදන වෙනුවෙන් හොඳ ඉල්ලුමක් නිර්මාණය වුණා” නන්දිනි මහත්මිය විස්තර කළාය.

සිය අදහස් දැක්වීම අතරතුරදී ව්‍යාපාරකරණයේ නියුතු කාන්තාවන් දිරිමත් කිරීමට ද ඇය අමතක නොකළාය. “සාම්ප්‍රදායික නොවන කටයුතුවල නිරත වීම කාන්තාවන්ට දුෂ්කරයි කියලා බොහෝ දෙනෙක් කියනවා. නමුත් මම ඊට එකඟ නැහැ. ඉදිරියේදී මගේ ම වෙළෙඳ නාමයකින් යුතුව නිෂ්පාදන එළිදැක්වීමටත් මම බලාපොරොත්තු වෙනවා. කාන්තාවන්ට ඕනෑම ව්‍යාපාරයක යෙදීමට පුළුවන්. මේ වෙද්දි බොහෝ දෙනෙක් මාව හඳුන්වන්නේ ‘යුනිග්‍රෝ ඌෂා’ නමිනුයි. එය තවදුරටත් ඉදිරියට යාමට මට විශ්වාසය ලබාදෙනවා. ඉදිරියේදී ඉවතලන ප්ලාස්ටික් භාවිත කරමින් ඉන්ටර්ලොක් ගල් නිෂ්පාදනය කිරීමටත් මම සැලසුම් කරමින් ඉන්නවා. ඉතින් කාන්තාවන්ට වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් ලැබුණොත් ඔවුන්ව සීමා කරලා තියෙන සාම්ප්‍රදායික රාමු බිඳහෙළන්න අපට පුළුවන්. රටේ ආර්ථිකයට උරදීමට ඔවුන්ට කදිම අවස්ථාවක් එළැඹී තිබෙනවා” නන්දිනි මහත්මිය පැවසුවාය.

මෙම වෙබ් සම්මන්ත්‍රණයට එක් වූ නලින් විපුලේන්ද්‍ර මහතා රටකජු ආශ්‍රිත සමාජ ව්‍යවසායක නිරත වී සිටින පුද්ගලයෙකි. එම ව්‍යාපාරය හරහා ජනනය වන ආදායම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ද යෙදවේ. කොවිඩ් අර්බුදය සමයේ මතුවූ අභියෝග ජයගැනීමට තම ව්‍යාපාර ආයතනය අනුගමනය කළ උපක්‍රම පිළිබඳ විස්තර කරමින් විපුලේන්ද්‍ර මහතා මෙසේ පැවසීය.

“මෙම අර්බුද කාලසීමාවේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳ වැඩි අවධානයක් යොමුකිරීමට අපට සිදුවුණා. තම එදිනෙදා ක්‍රියාකාරකම් වල නිරත වීමට නොහැකි වීම, තම මිතුරන් මුණගැසීමට නොහැකි වීම වගේ හේතු නිසා ඔවුන් දැඩි කම්පනයකට පත්ව සිටියා. එම නිසා අපි එම කාලපරිච්ඡේදය තුළ ඔවුන්ට අඛණ්ඩව සහාය දැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තා. අපගේ නිෂ්පාදන සඳහා වූ ඉල්ලුමක් අඩු වී තිබුණා. නමුත් අපි ව්‍යාපාර රැසක් සම්බන්ධ කරගනිමින් ඔවුන්ට ඒවායේ සාම්පල් නොමිලේ ලබාදීමට කටයුතු කළා. මේ හරහා අපගේ නිෂ්පාදන වලට වැඩි ඉල්ලුමක්, ජනප්‍රියත්වයක් හිමිවුණා” ඔහු ප්‍රකාශ කළේය.

“අපිට මෙහිදී ක්‍රිසලීස් ආයතනය සහාය දැක්වූවා. ඒ වගේම මොනරාගල ප්‍රදේශයේ තවත් ව්‍යාපාර ආයතන 35ක් සමඟ එක්ව ව්‍යාපාර සංසදයක් පිහිටුවීමටත් අපට හැකිවුණා. එහි අරමුණ වූයේ සමාජ සේවා කටයුතු වගේම ව්‍යාපාර සංවර්ධන කටයුතු සිදුකිරීමයි.  පරිගණක සාක්ෂරතාව, ව්‍යවසායකත්ව දැනුම වැනි අත්‍යවශ්‍ය ව්‍යාපාරික කුසලතා සංවර්ධනය කිරීමත් එහි එක් අරමුණක් වුණා. මොනරාගල දිස්ත්‍රික්කයේ ව්‍යාපාර වර්ධනය කිරීම ඉලක්ක කරගනිමින් ප්‍රථම ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය පිහිටුවීමත් සමඟ සියලු දෙනාටම වැඩි අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වේවි”, විපුලේන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය.

 

Santhush Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.