ඇමෙරිකාවේ ජනපති සටනට ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවක්

ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු සෙනෙට් සාමාජිකාවක වන කමලා හැරිස් 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. ජනාධිපති ධූර අපේක්ෂකත්වයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින 8 වැන්නා ඇයයි.

2016 වසරේදී කැලිෆෝනියාහි සෙනෙට් සභික ධූරයට පත් වූ ඇය, ඊට පෙර එම ප්‍රාන්තයේ නීතිපතිවරිය ලෙස සේවය කළාය.

“මම මගේ රටට ආදරෙයි,” ඇය ABC පුවත් සේවයේ ගුඩ් මෝර්නිං ඇමෙරිකා වැඩසටහන සමග එක්වෙමින් පැවසුවාය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තරයෙන් විවේචනයට ලක් කරන 54 හැවිරිදි කමලා හැරිස්, ඩිමොක්‍රටික් පක්ෂය තුළ නැගී එන තරුවක් ලෙස හඳුන්වා තිබේ.

එලිසබෙත් වොරන්, කර්ස්ටන් ගිලිබ්‍රෑන්ඩ්, තුල්සි ගැබාර්ඩ්, ජෝන් ඩෙලනි සහ ජූලියන් කැස්ත්‍රෝ ද ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තරග වදින බව නිවේදනය කර තිබේ.

“අපේ රටේ අනාගතය රැඳී තිබෙන්නේ, ඇමෙරිකානු වටිනාකම් වෙනුවෙන් හඬ නගන ඔබ අතේ. ඒ නිසයි එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය වෙනුවෙන් මා ඉදිරිපත් වන්නේ,” ට්විටර්හි වීඩියෝවක් පළ කරමින් ඇය පවසා තිබේ.

කාන්තාවන් සිව් දෙනෙකු අපේක්ෂකත්වයට ඉදිරිපත්ව සිටින මෙම ‘තරගය’ මේ වන විටත් වාර්තාගත එකක් වී හමාරය.

කමලා හැරිස් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා නාම යෝජනා ලබා ගතහොත් ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රධාන පක්ෂයකින් නාම යෝජනා ලැබූ පළමු ඉන්දීය ඇමෙරිකානු මෙන් ම, අප්‍රිකානු ඇමෙරිකානු කාන්තාව බවට ඇය පත්වනු ඇත.

වොෂිංටන්හි පිහිටි අප්‍රිකානු ඇමෙරිකානු විශ්වවිද්‍යාලයකදී සිය පළමු රැස්වීම අමතමින් සඳුදා ඇය පැවසුවේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය ආයතන වසා දැමීම හරහා ඇමෙරිකානුවන් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටින බවය.

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.