“ආදර්ශමත් ජාතියක් ලෙස නැගීසිටීමට උපරිම සහාය දෙනවා”

ශක්තිමත් සංහිඳියාවක් සහිත සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට දරන ප්‍රයත්නයේ දී ශ්‍රී ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් කියා සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ශ්‍රී ලංකාව සහ එහි ජනතාව සමග වඩා සමීපව කටයුතු කරමින් සියලු ශ්‍රී ලාංකිකයන්ට සමෘද්ධිය සහ සහජීවනය පිරි ලෝකයේ ආදර්ශමත් ජාතියක් ලෙස නැගීසිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ලබාදෙන බව ද මහලේකම්වරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් අතර හමුවක් සෙනසුරාදා (සැප් 23) පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකාව සමග පවතින සහයෝගිතා වැඩපිළිවෙළ වඩා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවත්, එහි ජනතාව වෙනුවෙනුත් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දීමට අඛණ්ඩව කටයුතු කරන බව මහලේකම්වරයා එම හමුවේ දී පැවසූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සයීඩ් අල් හුසේන් කුමරුජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සයීඩ් අල් හුසේන් කුමරු අතර හමුවක් සිකුරාදා (සැප් 22) පැවැත්විණි

මේ අතර කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් පැරිස් සමුළුවේ දී ඇති කර ගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පෞද්ගලිකවම සිදු කරන මැදිහත්වීම අගය කර ඇති මහලේකම්වරයා තිරසර සංවර්ධන ඉලක්ක සංවර්ධන ක්‍රියාදාමයකට එක්කර ගැනීමට ජනාධිපතිවරයා දක්වන උනන්දුව පිළිබදව සිය ප‍්‍රසාදය පළ කළ බවත් ඉහත කී නිවේදනයේ දැක්වේ.

සංවර්ධනය සහ සංහිඳියාව වෙනුවෙන් ගෙන යන කි‍්‍රයාමාර්ග සඳහා වත්මන් ආණ්ඩුව කැපවී සිටින බවත් ඒ සඳහා ලෝකයේ සෑම රාජ්‍යයකම සහයෝගය සහ මිත‍්‍රත්වය අවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී පවසා තිබේ.

සංවර්ධන ඉලක්ක ද ජය ගනිමින් සංහිඳියා පිළිවෙතක් කරා ගමන් කරන ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය දැක බලා ගැනීමට පුද්ගලිකව සංචාරයක නිරතවන ලෙස ජනාධිපතිවරයා එහිදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත ඇරයුම් කළ බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.